Tuesday, October 18, 2016

Gold window

රත්තරන් ජනේලයක් තියෙන ගෙයක් ඔබටත් ඕනද?

ඔයා ඔතැන ඉඳලා බලද්දී ඔයාට අෑත ලස්සනටම පෙනෙන දේ මොකද්ද? මම මේ ලිපිය ලියන්නේ මගේ ගමේ ගෙදර ඉඳලා. අවුරුද්දට ගමේ ආවත් ලියන එක නවත්වන්න හරිම අමාරුයි. මෙතැන ඉඳලා බලද්දී මට නම් නිවෙස පිටුපස තියෙන කුඹුරත්, කුඹුර අවසාන වෙන තැනින් පටන්ගන්නා සුන්දර කඳු වළල්ලත් පෙනෙනවා. ඒ කන්දේ මැද තැනක හරිත වර්ණ තැනිතලා බිමක් පෙනෙන අතර වෙසක් කාලෙට කන්ද පහළ ගමේ තරුණ ගැටව් එතැන සුදු පාට ඉටි රෙදිවලින් ලස්සන චෛත්‍යයක් හදනවා.

මෑත සිට රාත්‍රියට කිරි සුදු වර්ණයෙන් දිලිසෙන ඒ චෛත්‍ය දිහා බලන බොහෝ දෙනෙක් අනේ එතැන ලස්සන ගෙයක් හදන්න තිබුණා නම් කියනවා මට නිතර ඇහිලා තියෙනවා. මිනිස්සු වශයෙන් අපි හැමෝම අෑත තියෙන තැන්වල ලස්සන ජීවිත ගත කරන්න හරිම කැමැතියි. අපි හැමෝම අනාගතයේ තැනක ලස්සන ජීවිතයක් ගත කරන්න අද සිහින මවනවා. ඒක මිනිස් ස්වභාවයක්.

ඔන්න එක්තරා සුන්දර ගමක පුංචි ගෙදරක ලස්සන ළදැරියක් හිටියා. එයාට වයස අවුරුදු දහ තුනක් විතර ඇති. මෙම දැරියගේ නිවෙසේ සිට බලද්දී අෑත කන්දේ සුන්දර තැනක අපූරු ගෙදරක් පෙනෙනවා. එම ගෙදර ජනේලයක් රන් පැහැයෙන් දිලිසෙනවා ඇයට දකින්නට ලැබුණා. රත්තරන් ජනේලයක් තියෙන ඒ නිවෙසේ තමාට ජීවත් වෙන්න ඇත්නම්. ඇය ගොඩක් ඒ ගැන සිහින මැව්වා. උදෑසන ඇය අවදිවුණු ගමන්ම රත්තරන් ජනේලයක් තියෙන නිවෙස දිහා ගොඩක් වෙලා බලාගෙන ඉන්නවා. තමාගේ ජීවිතේ සුන්දරම කාලය ගත කරන්න නම් ඒ වගේ ගෙදරක ජීවත් වෙන්න ඕන කියලා ඇයට හිතුණා. දවසක් මෙයාට තාත්තා බයිසිකලයක් අරං දුන්නා.

ඒක නිසා ඇය රත්තරන් ජනේලයක් තියෙන නිවෙස සොයාගෙන පුංචි චාරිකාවක් යන්න පිටත්වුණා. එය ඇය හිතූ තරම් පහසු චාරිකාවක් වුණේ නැහැ. බයිසිකලයෙන් හැකි තරම් දුරක් ගිය ඇය ගමනේ ඉතිරි කොටස පා ගමනින් ගියා. ඇය දීර්ඝ පා ගමනකින් පස්සේ ඇය බොහෝ කාලයක සිට සිහින මැව්ව රත්තරන් ජනේලයක් තියෙන ගෙදර වෙත ළඟා වුණා.

එහෙත් එය දැක්ක ගමන්ම ඇයගේ සිහින අහස අඳුරු වෙලා ගියා. සැබැවින්ම එම නිවෙසේ එක ජනේලයක් තඹ පැහැයෙන් වර්ණ ගන්වා තිබෙන බව ඇයට පැහැදිලිව පෙනුණා. එහෙත් එම නිවෙස ඉතාම පාළු අතිශයින්ම මූසල තැනක් බව ඇයට හැඟුණා. ඇයගේ නිවෙසේ සිට බලද්දී තඹ පැහැ ආලේප කළ ජනේලයට සූර්යාලෝකය වැටීමෙන් එම නිවෙසේ ජනේලයක් රන් පැහැයෙන් දිලිසෙන බව ඇයට වැටහුණා. එහෙත් සැබැවින්ම එම නිවෙස තුළට උරුම වූ සුන්දරත්වයක් නැති බවත් සූර්යාලෝකය නිසා ජනේලය පමණක් දිදුලන බවත් ඇයට වැටහුණා.

තමා බොහෝ කාලයක සිට සිහින මැව්වේ මේ වගේ තැනක ජීවත් වෙන්නද කියලා ඇයගේ හිතට ලොකු ප්‍රශ්නයක් ඇති වුණා. ඇය ව්‍යාකූල මනසින් හිමින් හිමින් කන්ද බහින්න පටන් ගත්තා. මෙහෙම එන විට ඇයට කඳු පාමුල තැන්නේ ඉතා සුන්දර පුංචි නිවෙසක් පෙනුණා. ඒ ඇයගේම නිවෙස බව ඇයට වැටහුණා. ඇය කවදාවත් ඇයගේ ගෙදර මෙහෙම දුරක ඉඳලා දැකලා නැහැ. හරිම පුදුමයි. මගේ ගෙදර කොයිතරම් ලස්සනද? ඇය හිතුවා. මවුපියන්ගේ ආදරය, සහෝදරයන්ගේ සෙනෙහස, අසල්වැසියන්ගේ සහයෝගය පිරිලා තියෙන තම පුංචි ගෙදර සැබෑම රත්තරන් ගෙදරක් බව ඇයට වැටහුණා. ගෙදරක් රත්තරන් ගෙදරක් වෙන්න රන් පැහැයෙන් දිලිසෙන ජනේල කොහෙත්ම අවශ්‍ය නැති බවත්, අවශ්‍ය වන්නේ යහපත් මනුෂ්‍ය සම්බන්ධතා බවත් ඇය එදා හොඳින් තේරුම් ගත්තා.

සැබැවින්ම පින්තූරයට යටින් ඉඳලා බලද්දී ගොඩක් දේවල් හරිම ලස්සනට පෙනෙනවා. එහෙත් කිසියම් දෙයක සැබෑම ලස්සන තේරුම් ගන්න පුළුවන් වෙන්නේ පින්තූරය ඇතුළට ගියාම. අන්න ඒ නිසා පින්තූරයට බොහෝ දුරින් ඉඳලා කිසිම දෙයක් පිළිබඳ තීරණයක් ගන්න එපා.

උපුටා ගැනීමකි සියලුම හිමිකම් මුල් රචකයා සතුයි

  • ඔබේ අදහස් comment කරන්න

No comments:

Post a Comment