Tuesday, October 18, 2016

යාපනයේ රාජකාරි කරන්න ගිය ලෙනාඩ් වුල්ෆ්ට වැටුණු ලෙඩ

ශ්‍රී ලංකාව බි්‍රතාන්‍යයට යටත් වීමෙන් පසු ශ්‍රී ලංකාව පාලනය කළ බි්‍රතාන්‍ය රාජ්‍ය සේවකයන් අතරෙන් ලෙනාර්ඩ් වුල්ෆ්ට සුවිශේෂ තැනක් හිමිවෙයි. ඊට ප්‍රධාන හේතුව ඔහු මානව හිතවාදී ලේඛකයකුද වීමය. බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදය හා නීතිරීති පිළිබඳව වුල්ෆ්ට කලකිරීමක් තිබුණද එම නීතිරීති අකුරටම සුරැකීමට ඔහු බැඳී සිටියේය. නීතියට වැඩ කිරීම කුඩා කාලයේ සිටම පැවැති වුල්ෆ් වෙත පැවැති සිරිතකි. වුල්ෆ්ගේ පියා වූ සිඩ්නි වුල්ෆ් නීතිඥයකු වීම ඇතැම්විට මේ සඳහා ඔහුට බලපාන්නට ඇත. වුල්ෆ්ගේ ස්වයං ලිඛිත චරිතාපදානයේ කුඩා කාලය පිළිබඳ තොරතුරු ඇතුළත් සෝවින් (ඉධඹඪදඨ) ග්‍රන්ථයේ සඳහන් කොට ඇත්තේ තම පවුලේ සහෝදර සහෝදරියන් 9 දෙනකු සිටි බවත් එම නවදෙනා අතරෙන් තම මව අඩුවෙන්ම ආදරය කළේ තමනට බවත්ය. ඔහු ඊට හේතුව ලෙස දක්වන්නේ නීතිය අකුරටම සුරැකිය යුතුය යන ආකල්ප තමන් වෙත පැවැතීමය. ඒ සඳහා හේතු වූ සිද්ධීන් ඔහු මෙසේ විස්තර කොට ඇත.

වුල්ෆ්ගේ මව පවුලේ අය අතර පැවැතිය යුතු බැඳීම අගේ කොට සැලකුවද වුල්ෆ් නීතිය ඉදිරියේ සියලු දෙනා සමාන යැයි සිතූ නිසා මේ බැඳීමට හානි සිදුවේ යැයි මව බිය වී තිබේ. ඒ සඳහා හේතු වූ සිදුවීමක් මෙසේය. දිනක් රෑ කෑම මේසයේදී වුල්ෆ්ගේ ලොකු අයියා හා බාල සොහොයුරන් අතර පුවත්පතක පළ වූ බෝයර් යුද්ධය හා සම්බන්ධ ලිපියක් පිළිබඳ වාදයක් උද්ගත විය. යුද්ධයේදී කාලතුවක්කු පටවා ගත් කරත්තයක් පදවමින් සිටි සොල්දාදුවකුට ඔහුගේ සහෝදරයා තුවාල ලබා පාරේ වැතිර සිටිනු දක්නට ලැබිණි. පුවත්පතේ පළ වූ පරිදි ඔහු දෑස් පියාගෙන සහෝදරයා මතින් කරත්තය පදවා තිබිණි. වාදය ඇතිවී ඇත්තේ එම ක්‍රියාවේ හරි වැරැද්ද පිළිබඳවයි. වුල්ෆ්ගේ සොහොයුරු හර්බට් කීවේ එම ක්‍රියාව වැරැදිය කියාය. එහිදී වුල්ෆ්ට සිය මව හා සොහොයුරිය එහි සිටි බව අමතකව එම ක්‍රියාව නිවැරැදි යැයි පවසා තිබේ. වුල්ෆ් තවදුරටත් පවසා ඇත්තේ තමා කරත්තකරු වී හර්බට් වැතිරී සිටියේ නම් තමා හර්බට්ගේ ඇඟ මතින් කරත්තය දක්කන්නේය කියාය. මෙය ඇසූ මව සහ සොහොයුරිය කඳුළු පිරි දෙනෙතින් සිටිනු දැක මවගේ පෑරුණු සිත හැදීමට බොහෝ වේලාවක් ගොස් ඇත.

ශ්‍රී ලංකාවේ සිවිල් සේවයට පැමිණි ලෙනාර්ඩ් වුල්ෆ් 1905 ජනවාරි 5 වැනි දින යාපනය කච්චේරියේ ආධුනික සිවිල් සේවකයකු වශයෙන් වැඩ භාර ගත් බව සඳහන් වෙයි. යාපනය කච්චේරියේ පැවැති අවිධිමත් බව හා අකාර්යක්ෂම බව නැති කොට විධිමත් කාර්යක්ෂම ආයතනයක් බවට පත් කිරීමට තමන්ට හැකි වූ බව වුල්ෆ් සඳහන් කොට ඇත. වුල්ෆ් යාපනයට යන විට කච්චේරියේ පිළිතුරු යැවිය යුතු ලිපි ගොඩගැසී තිබූ බවත් එසේ ගොඩගැසී තිබූ ලිපි එදිනෙදා ලිපි යැවිය යුතු බවත් පවසා කච්චේරිය කාර්යක්ෂම කළ බව පවසයි. එයට සිංහල හා ද්‍රවිඩ සේවකයන් මුලදී අකැමැති වූ නමුත් පසුව ඔවුන් ඒ පිළිබඳ සතුට පළකර ඇත. වුල්ෆ් යාපනයේ සිට මහනුවරට මාරු වූ පසු යාපනයේ සිටියදී කළ සේවය අගයමින් යාපනයේ සිටි ප්‍රකට නීතිඥයකු වූ කාසිපිල්ලේ මහතා විසින් ලිපියක් එවන ලද බව සඳහන් වෙයි.

එම ලිපිය මෙසේය.
1905 අගෝස්තු 25 වැනිදා,
යාපනයේදී,
හිතවත් මහත්මයාණනි,
ඔබ යාපනයෙන් පිටවී යෑමට පෙර මුණගැසී ඔබට ආයුබෝවන් කීමට මට නොපුළුවන් වීම ගැන මම බෙහෙවින් කනගාටු වෙමි. දැඩි සෙම් රෝගයකට ගොදුරු වී එක්තැන් වී සිටි මට තවමත් හොඳ සුවයක් ලැබී නැත. ඔබ මෙන් වෙහෙසී වැඩ කරන්නෝත්, තම සේවය අවංකවම නොපිරිහෙළා ඉටු කිරීමෙන් ගරු බුහුමන් ලබන්නෝත් විරලය. යටත් සේවකයන් කෙරෙහි ඔබ දැක්වූ ආකල්පය මත ඔවුහු ඔබ කෙරෙහි නොමනාපකම් පෑහ. එහෙත් රාජකාරි කටයුතු විධිමත් කළ අතරම යටත් සේවකයන්ට ඉතා කරුණාවෙන් සැලකුවා වූද යුක්තිය ආදර්ශ පාඨය කොටගෙන සියලු අංශ සමතුලිතව රැක ගත්තා වූද උසස් නිලධාරියකු තමන්ට මෙතෙක් හමු වී නැතැයි සේවකයකු ප්‍රකාශ කර ඇති බව සඳහන් කරමි. ඔබේ දිවිය වාසනාවෙන් පිරි එකක් වේවායි පතමි.
ටී. කාසිපිල්ලේ
තමන් යාපනයේදී ප්‍රියජනක පුද්ගලයකු නොවීමට හේතු වූයේ තමන් නීතිය පණමෙන් සුරැකීමට ක්‍රියා කිරීමත්, ජනතාවගේ යහපත අරමුණු කරගෙන රළු මඟක් ගැනීමට සිදුවීමත් නිසා බව වුල්ෆ් පවසයි.

වුල්ෆ් නීතිය මැනවින් ක්‍රියාත්මක කිරීමට යොමු වූ තවත් අවස්ථාවක් වන්නේ යාපනය කච්චේරිය පිරිසුදුව තබා ගැනීමට ගත් උත්සාහයයි. වුල්ෆ් යාපනයේ සේවය කරන කාලයේ කච්චේරියට පැමිණෙන ජනතාව මෙන්ම කච්චේරියේ සේවකයන්ද කච්චේරි ඉස්තෝප්පුවේ හා ඒ අවට කෙළ ගැසූ බැවින් ඉස්තෝප්පුවේ කෙළ ගැසීම තහනම් යනුවෙන් දැන්වීමක් ප්‍රදර්ශනය කරන ලදී. එසේ තිබියදී කච්චේරියේ සේවය කළ එක් ලිපිකරුවකු එහි කෙළ ගැසූ අතර එය පිරිසුදු කරන ලෙස ලිපිකරුවාට දන්වා සිටියද ඔහු ඊට එකඟ නොවීය. නමුත් වුල්ෆ් තම අණ නිශ්චිත එකක් බව පැවැසීම නිසා ඔහු එය පිරිසුදු කොට තිබේ. මේ අයුරින් නීතිය ක්‍රියාත්මක කිරීමට යෑම නිසා ආණ්ඩුකාරවරයා ඉදිරියේදී නිදහසට කරුණු දැක්වීමටද සිදුවූ බව වුල්ෆ් පවසයි.
1906 අගෝස්තු මාසයේ මන්නාරමේ සහකාර ඒජන්ත අසනීප වී මසක නිවාඩුවක් ලබා ගැනීම නිසා එහි වැඩ බැලීමට යෑමට වුල්ෆ්ට සිදුවිය. එහි සේවා කාලය අවසන් කොට නැවැත යාපනයට පැමිණීමට සූදානම් වූ විට දැන ගන්නට ලැබී ඇත්තේ තම අස්ගොව්වා බීමට ඇබ්බැහි වී ඇති බවයි. එය ස්ථිරව දැන ගත්තේ බීමත්ව ඔහු වැටී සිටිනු දුටු විටය. වුල්ෆ් තම සේවකයන් බඳවා ගන්නා විට පැවැසුවේ ඕනෑම සේවකයකු සේවා කාලය තුළ බීමතින් සිට අසුවුවහොත් කිසිදු සමාවක් නොමැතිව එම අවස්ථාවේදීම සේවයෙන් නෙරපා හරින බවයි. මුළු මන්නාරම් දිස්ත්‍රික්කයේම කිසිදු අස්ගොව්වකු නොමැති බැවින් තමන් සේවයෙන් අස් නොකරනු ඇතැයි අස්ගොව්වා සිතන්නට ඇත. නමුත් වුල්ෆ් කිසි පැකළීමකින් තොරව එම අවස්ථාවේදීම අස්ගොව්වා සේවයෙන් නෙරපා හැර ඇත.

එසේ අකුරටම නීතිය ක්‍රියාත්මක කිරීම නිසා වුල්ෆ් දැඩි අපහසුතාවට පත්වූ අයුරු ඔහු විසින් රචිත ග්රෝවින් ග්‍රන්ථයේ සඳහන් කොට ඇත. ප්‍රදේශයේ ප්‍රධාන ගම්මුලාදෑනියා වුල්ෆ්ට අස්ගොව්වකු සොයා දීමට දින දෙකක් තුනක් තිස්සේ දැඩි වෙහෙසක් දැරුවද එය අසාර්ථක වූ බැවින් පනික්කියා නමින් හඳුන්වන ඇතුන් අල්ලා හීලෑ කරන පුද්ගලයකු අස්ගොව්වාගේ කාර්යය භාර ගත් බැවින් ඔහුත් සමඟ නැවැත යාපනයට පැමිණීමට හැකි වී ඇත.

ශ්‍රී ලාංකික සිංහල, ද්‍රවිඩ ජනතාවට ළෙන්ගතුව ක්‍රියා කළ වුල්ෆ් සුදු ජාතිකයන් කෙරෙහිද නීති-රීති අකුරටම ක්‍රියාත්මක කිරීමට පැකිළී නැත. වුල්ෆ් මහනුවර සේවය කරද්දී දිනක් සුදු ජාතිකයකු කසාදයක් බැඳීම සඳහා විශේෂ බලපත්‍රයක් ඉල්ලාගෙන පැමිණ වංචාකාරී ලෙස චෙක්පතකට අස්සන් කර ගත් බවත් පසුව එම සුදු ජාතිකයා කාර්යාල භූමියේදීම අල්ලාගෙන පැමිණ එම චෙක්පත ඉරා දැමූ බවත් ඔහු තමන් සමඟ තර්ක කිරීමට පැමිණි නිසා ඔහු කච්චේරි භූමියෙන් පිටතට එළවා දැමූ බවත් සඳහන් කරයි. මෙම සුදු ජාතිකයා කළ වංචනික ක්‍රියා නිසා මහනුවර, නුවරඑළිය හා කොළඹ යන දිස්ත්‍රික්කවල ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු නිකුත්කොට තිබිණි. පසුව ඔහු අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කොට ඇත.

ලෙනාර්ඩ් වුල්ෆ් හම්බන්තොට දිස්ත්‍රික්කයේ සහකාර ඒජන්තවරයා වශයෙන් සේවය කරද්දී දරුණු ගව මුඛ රෝගයක් ඇතිවිය. 1909දී ඇති වූ මෙම දරුණු රෝගයෙන් හම්බන්තොට ජනතාවගේ වටිනාම සම්පතක් වූ ගව සම්පත රැක ගැනීමට වුල්ෆ් නීතිය අකුරටම ක්‍රියාත්මක කොට තිබේ. 1909 තබන ලද පොතේ සටහනින් මේ පිළිබඳ විස්තර දැක්වෙයි. නැඟෙනහිර ගිරුවාපත්තුවේ කච්චිගල ඔස්සේ මුඛ රෝගය සබරගමුව දක්වා පැතිර යන බව දක්වා සබරගමුවේ රජයේ ඒජනත්වරයා වුල්ෆ්ට දන්වා සිටි බැවින් බයිසිකලයෙන් හම්බන්තොට සිට මාමඬලටද, එතැන් සිට අශ්වයා පිටින් ලියන්ගස්තොටට හා අබේසේකර ගමටද, අනතුරුව මැටිගත්වෙල වැව අසලටද ගොස් තිබේ. එහිදී දුටු රෝගී ගවයන්ට වුල්ෆ් වෙඩි තැබූ බවත් වුල්ෆ් සිය ග්රෝවින් ග්‍රන්ථයේ සඳහන් කොට ඇත. අනතුරුව තලාවට පැමිණ එහි රාත්‍රිය ගතකොට ඊට පසු දින නැවැත හම්බන්තොටට පැමිණෙන ගමනේදී රෝගී ගවයන් නිදැල්ලේ හැසිරෙනු දක්නට ලැබී ඇත. තම අණ පිළිබඳ කිසිදු තැකීමක් නොකළ රාජ්‍ය නිලධාරීන් හා ජනතාව නිසා තමන් බෙහෙවින් කේන්ති ගිය බවත්, ලියන්ගස්තොටදී නිදැල්ලේ හැසිරුණු ගවයන්ට වෙඩි තැබූ බවත් එහිදී ජනතාවගේ විරෝධය තමන් වෙත එල්ල වූ බවත් වුල්ෆ් සඳහන් කොට ඇත. නමුත් තමන් නීතිය අකුරටම ක්‍රියාත්මක කළේ හම්බන්තොට ජනතාවගේ වටිනාම සම්පත රැකදීම සඳහා බවත් පවසා ඇත.

1960 ලෙනාර්ඩ් වුල්ෆ් සංචාරයක් සඳහා දෙවැනි වර ශ්‍රී ලංකාවට පැමිණ නැවැත බි්‍රතාන්‍යය බලා පිටත්ව යෑමට සූදානම්ව ගෝල්ෆේස් හෝටලයේ සිටි අන්තිම දවසේ තමන් හම්බන්තොට සේවය කළ කාලයේ සිටි ගම්මුලාදෑනියකු හෝටලයට පැමිණ එම සිද්ධිය මතක් කොට ඇත. වුල්ෆ්ගේ අණ නොතකා හැරීම නිසා නිදැල්ලේ හැසිරෙමින් සිටි ගවයන්ට වෙඩි තබා ගවයන්ගේ අයිතිකරු වූ ආරච්චිට රු. 10ක දඩයක් නියම කළ බවත්, රාජකාරිය පැහැර හැරීම නිසා ආරච්චිට තවත් රු. 25 දඩයක් නියම කළ බවත් එම දඬුවම සාධාරණ දැයි තමාගෙන් ගම්මුලාදෑනියා ප්‍රශ්න කළ බවත් සඳහන් කොට ඇත. නමුත් තමා නීතිය තදින්ම ක්‍රියාත්මක කළේ ජනතාවගේ වටිනා සම්පත රැකදීම සඳහා බව එහිදී වුල්ෆ් පවසා ඇත.

වුල්ෆ් හම්බන්තොට සේවය කරන අවධියේ විනෝදය සඳහා සතුන් දඩයම් කිරීමට සුදු ජාතිකයන් නිතර නිතර හම්බන්තොටට පැමිණ තිබේ. කැලෑ අලින්, කුළුමීමන්, ගෝනුන්, මුවන් දඩයම් කිරීම සඳහා ඔවුන් පැමිණ ඇත. වරක් සුදු ජාතික වැවිලිකරුවන් දෙදෙනකු දඩයම් කිරීමට තහනම් ප්‍රදේශයක් වූ යාල අභය භූමියේ මුවකු වෙඩි තැබූ බව යාල සේවය කළ එංගල් බේ‍රෂ්ට් වෙතින් වුල්ෆ්ට දැන ගැනීමට ලැබී ඇත. එම වරදට දෙදෙනාට රු. 50ක දඩයක් නියම කළ අතර මුලදී ඔවුන් එම දඩය ගෙවීමට අකැමැති වුවද වුල්ෆ්ගේ නීති දැඩි හා ස්ථාවර වූ බැවින් එම දඩය ගෙවීමට සිදුවී ඇත.

වුල්ෆ් නීතිය ක්‍රියාත්මක කිරීමේදී නෑ හිතමිත්‍රකම් සලකා නැත. වුල්ෆ් හම්බන්තොට සේවය කළ කාලයේ ඔහුට සිටි සමීප මිත්‍රයකු වූ එංගල් බේ‍රෂ්ට් යාල ආරක්ෂකයකු ලෙස සේවය කළ අයෙකි. බේ‍රාහියර් ජාතිකයකු වූ බේ‍රෂ්ට් වුල්ෆ්ට වෙඩි තැබීමට ඉගැන්වූ පුද්ගලයා බවද සඳහන් වෙයි. නමුත් බේ‍රෂ්ට්ට විරුද්ධව සිංහල කාන්තාවක වන්දි නඩුවක් දැමූ අවස්ථාවේදී වුල්ෆ් නීතිය අකුරටම ක්‍රියාත්මක කරමින් එංගල් බේ‍රෂ්ට විරුද්ධව නඩු තීන්දුව ලබා දී එම සිංහල කාන්තාවට වන්දි ලබා දීමට කටයුතු කොට ඇත.
මෙසේ නීතිය අකුරට ආරක්ෂා කළ ලෙනාර්ඩ් වුල්ෆ් කසපහර හා මරණීය දණ්ඩය පිළිබඳ දැඩි පිළිකුලක් දක්වා තිබේ. සමාජ විද්‍යාත්මක හා අපරාධ විද්‍යාත්මකව විමසා බැලුවද මරණීය දණ්ඩනය ඵල රහිත වූවක් බව වුල්ෆ් පවසා ඇත.

උපුටා ගැනීමකි සියලුම හිමිකම් මුල් රචකයා සතුයි ..

  • ඔබේ අදහස් comment කරන්න


No comments:

Post a Comment